Thursday, November 18, 2010

රාජපක්ෂගේ දෙවෙනි ගමන.. ලාංකේය ඉතිහාසයේ නාසිවාදයේ ආරම්භය වෙයිද?

බෞද්ධ දර්ශනයටත් නිගා දෙන මෙවැනි කුහක කපටින් බිහිවීම පිළිගත් නීතියේ අධිපත්‍යයෙන් සහ සමාජ ක්‍රමයෙන් ( law & order and social system ) වියුක්ත වූ සමාජයක සිදු වන සාමාන්‍ය සිදු වීමක් වේ. මින් ගොඩ ඒමටනම් තවත් වසර 200 ක් වත් නීතියේ අධිපතය පිළිගත් රාජ්‍යකට ලංකාව යටත් විය යුත්තේය. එය බ්‍රිතානයේ කිරීටය යැයි නම් කළ යුත්තේ නැත, නමුත් සිදු විය යුත්තේ එයයි. මන්ද රාජපක්ෂ විසින් දේශපාලන පක්ෂ ක්‍රමය සහ මිනිසුන්ගේ මුලික අයිතීන් සුරැකීම සර්ව සම්පූර්ණයෙන්ම ඝාතනය කොට ඇත.

බොරුව සමාජයේ ඇත්ත වූ විට එනම් බොරු කීම සහ බොරු කිරීම සමාජය තුළ පැල පදියම් වූ එකම සහ නියත දෙයක් බවට පත් වූ විට දැක ගත හැකි තත්වය වඩාත් හොඳින් මේ වනවිට මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ සගයන් කරන නාඩගම් වලින් පෙනේ. එය වඩාත් හොඳින් තේරුම් ගැනීම සඳහා මහින්ද රාජපක්ෂගේ සහෝදරයා වන ගෝඨාබය රාජපක්ෂ පසුගීය ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළ දෙයින් පැහැදිලිය. කෝකටත් තෛලය මෙන් රටේ හැම හෙන ගෙඩියකටම මිලිටරිය ඔස්සේ විසඳුම් හොයන ගෝඨාබය වඩාත් විඩාවට පත් වූ ස්වරයකින් කියා ඇත්තේ කොළඹ ගං වතුරෙන් විපතට පත් වූවන්ට සහනය සැලසීම සඳහා තම ආණ්ඩුවේ දේශපාලනඥයින්ගේ කැපවීම අඩු බවය. ඔහු හිතින් අනේක වාරයක් කියනු ඇත්තේ මේ හොර සහ ගොන් හැත්ත එක්ක කිසිවක් කළ නොහැකියි යන්න; විය හැකිය. කතාව සේම භූමියේ පවතින ඇත්ත වන්නේ එයයි. මෙය ගෝඨාබය ඇතුළු අයවලුන් විසින්ම නිර්මාණය කරගත් පැන්ඩෝරාවකි. එබැවින් දැන් නිදහසට කරුණු කීමෙන් පලක් වන්නේ නැත.

මේ අතර ගං වතුරෙන් විපතට පත් වූවන් පාසල්, පන්සල් සහ පල්ලි වල අපා දුක් විඳිද්දී මහින්ද රාජපක්ෂ ඊයේ තම පැල දේශපාලන ව්‍යාපෘතිය ආරම්භ කරමින් කියා ඇත්තේ ආර්ථික පිම්මක් පනිද්දී හුස්ම පොඳක් ගැනීමට සුදුසු වාතාවරණයක් තිබිය යුතුයි කියාය. සංවර්ධනය වූ කලි වැහි කාලෙට වෙල්වල වසන ගෙම්බන්ගේ පිනුම් ගසන්නාක් වැනි නාඩගම් කටයුත්තක් ලෙස යැයි සිතාගෙන සිටින රාජපක්ෂ දොඩවන මෙවැනි ඔලමොට්ටල කතා වල කිසිඳු තේරුම් නැති වුණත් එහි ඇත්තේ බොරුව නියතයක් වූ විට රටක නායකයින් මෝඩ කතා වලින් තමන්ගේ බොරුව අලංකාර කරණ ආකාරයයි. මහින්ද රාජපක්ෂටම අනුව එය අපි " මහින්ද චින්තනය " යැයි කියමු. ඉන් නොනැවතුණු හෙතම ජයවර්ධනපුර සරසවියේ පිහුනුම් තටාකය සිසු අයිතියට පත් කරමින් ඊට පය කිහිපයකට පසු එවැනිම තවත් බොරුවක් ඇද බෑවේය. එය වූ කලි විශ්වවිද්‍යාලය යනු ඕනෑම මතයකට ඉඩ ඇති තැනක් විය යුතුය යනුවෙනි. නමුත් ඔහු තමන්ගේ පුතාගේ නිල් බලකාය නමැති අමානුෂික නඩයගේ කෙරුවාවන් හෙවත් විශ්විද්‍යාල භූමියේ සිටින ස්වාධීන දේශපාලන අදහස් ඇති සිසුන් මර්දනය කරණ ආකාරය ගැන කියන්නේ නැත. රාජපක්ෂ හෝ ඔහුගේ පවුලේ අයෙක් ලංකාවේ විශ්ව විද්‍යාලයක ඉගෙන ගත්තේ දැයි විමසා බැලීම වැඩකට නැති කටයුත්තක් වන නමුත් හෙතම විශ්ව විද්‍යාලයේ තිබිය යුතු ගුණාංග සහ ඔහු විසින් ඇති කර තිබෙන අරාජික තත්වය එකින් එක කිසි සේත්ම නොගැලපෙන දෑ වේ. නමුත් අවාසනාවට මෙන් ඔවුහු මෙරට විශ්ව විද්‍යාල වලින් සම්මාන ආචාර්ය උපාධි ලබා ගත්ත වුන්ය.

බොරුව නියතයක් වූ විට දැක ගත හැක්කේ එයයි. එය, නීතියක් සහ සෑම දෙනාටම පිළිගත හැකි ක්‍රමයක් ඔස්සේ අනුමත කර ගත් සමාජ ක්‍රමයක් තිබෙන රටක ගඳ ගසන පිළිකුල් සහගත දෑ වන නමුත් නීතියද, ක්‍රමයද, බලයද, මුදලද, අවියද තමන් යැයි සිතාගෙන අනෙක් සියල්ලම තමාගේ සුඛ විහරණය සඳහා පාවිච්චි කරණ විෂයන්/භාණ්ඩ බවට පත් කොට ඇති රාජපක්ෂ පරිපාලනය තුළ නියතයක් වී තිබේ. අනිවාර්ය භාවිතය වී තිබේ. රජාපක්ෂ වූ කලී බොරුවේ ආසන්නතම ප්‍රතිපලය වන නමුත් ඔහු එකම ප්‍රතිපලය නොවේ. එසේම අවසාන ප්‍රතිපලයද නොවේ. මේ නිසා රාජපක්ෂ සිතන්නේ නම් තමන්ට බොරුව වඩාත් ආකර්ශනීය ලෙස ගෙන ගිය හැකි යැයි එය වූ කලි තමා විසින්ම තමා රවටා ගැනීමකි. මන්ද ලංකාවේ දේශපාලකයින්ට දේශපාලන තර්ක ඥානය තුළින් දේශපාලන ක්‍රමෝපායන් සඳහා බොරු කිරීමේ හැකියාව වෙනුවට ඇත්තේ හින්දු බමුණන් විසින් ආසියාව පුරා ව්‍යාප්ත කළ යැපීමට ඇති අවකාශය නැති වේය යන බයෙන් හටගත් කුහක කපටිකමකි. මේනිසා සමාජ ක්‍රමය හැඩ ගැසී ඇත්තේ කුහක කපටිකම නමැති මුලිකාංගය නාභි ගත කරමිනි. එයට බෞද්ධ දර්ශනයෙන් පහර වැදී බමුණන්ගේ මායා ලෝකය සුනු විසුනු කරණ විට බමුණන් එකතු වී රජය බලයද ඇතිව බෞද්ධ ආගම මාරාන්තික මර්ධනයකට යටත් කළේ ඒ නිසාය.ගෞතම බුදුන් වහන්සේ උප්පතිය ලැබූ තැන සහ තමාගේ දර්ශනය සෙයාගත් තැන් හී වර්තමාන තත්වය දුටු අයෙකුට මෙහි ඇත්ත වඩාත් හොඳින් තේරුම් ගත හැකිය.

1 comment: